Tuesday 6 August 2013

දඹල

 

දඹල
සොෆොකාපස් ටෙට්‍රාගොනොලෝබස්
Psophocarpus tetragonobus
කුලය - ෆැබේසි

මුහුදු මට්ටමේ සිට මීටර් 2000 පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගාකළ හැකි බෝගයකි. පාරම්පරිකව වගා කරන ලද දඹල ප්‍රභේදවලින් අස්වනු ලබාගත හැකිවූයේ මහ කන්නයේදී පමණකි. එයට හේතුව එම ප්‍රභේදවල මල් පිපිම සඳහා කෙටි දිවා කාල තිබිය යුතුවූ නිසාය. නමුත් වර්තමානයේදී වසර පුරාම වගාකර අස්වනු ලබාගත හැකි නව ප්‍රභේද බිහිකර තිබේ.

නිර්දේශිත ප්‍රභේද
එස්.එල්.එස්. 44
වසර පුරාම වගාකර සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි වර්ගයකි. කරල් කොළ පැහැතිය. කරලක සාමාන්‍ය බර ග්රෑම් 15 පමණ වේ.

ක්‍රිෂ්ණා
ශ්‍රී ලාංකික ගෙවතු වගාවන් වලදී ඉතා ජනප්‍රිය බෝග ප්‍රභේදයකි. දැනට SLA 44, UPS 12, SLS 40 යන ප්‍රභේද සමඟ දේශිය ප්‍රභේද රාශියක් ගොවීන් විසින් වගා කරනු ලබයි. SLS 44 ප්‍රභේද කොළ පැහැති ප්‍රභේදයක් වන අතර එය 1997 වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබේ.

පස
වැලි සහිත පස්වල මෙන්ම මැටි අධික පස්වලද වගාකළ හැකි බෝගයකි. නමුත් හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු වැලි ලෝම් සහ මැටි ලෝම් පස් වගාව ස‍ඳහා වඩා සුදුසුය.

බිම් සැකසීම
ගැඹුරට බිම පෙරලා කැට පොඩිකර ගන්න. ඉඩමෙහි ජලය රදා සිටීමේ අවදානමක් පවතී නම් උස් පාත්ති හෝ වැටි හා කානු ආකාරයට ඉඩම සකස්කර ගන්න.

බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 21 - 23කි.

පරතරය
සෙන්ටිමීටර් 75 x සෙන්ටිමීටර් 60කි.

වගා කාලය
වර්ෂා කාලය ආරම්භයත් සමඟ බීජ සිටුවන්න. එක් වලක සෙන්ටිමීටර් 2-5 පමණ ගැඹුරින් බීජ 2 - 3 පමණ සිටුවිය යුතුය.

ආධාරක සිටුවීම
වලවල් අසලින් සිටුවාගත් ආධාරක කණු වෙත වැල් පුහුණු කරන්න.

පොහොර යෙදීම
හොඳින් දිරාපත්වූ කාබනික පොහොර සකසාගත් වලවල්වලට යොදා පස් සමඟ හොඳින් කළවම් කරගන්න. මෙයට අමතරව පහත සඳහන් ආකාරයට රසායනික පොහොර ද වගාවට ලබාදෙන්න.


යෙදිය යුතු කාලයයූරියා
හෙ./කි.ග්‍රෑ
ත්‍රිත්ව සුපර් පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ
මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ
මුලික පොහොර4521565
පැළ මතු වී සති 420--
පැළ මතු වී සති 1020--

ජල සම්පාදනය
වියළි කාළගුණික තත්ත්වයන් පවතින අවස්ථාවලදී සතියකට වරක් පමණ බැඟින් වගාවට ජලය සපයන්න. වැලි අධික පස් සහිත ඉඩම්වල වගාකර ඇතිවිට මෙයට වඩා අඩු කාල පරතරයකින් ජලය ලබාදීමට සිදුවනු ඇත.

වල් පැලෑටි පාලනය
ආරම්භක අවස්ථාවේදී දඹල බෝගය ඉතා සෙමින් වර්ධනය වන නිසා මෙම කාලයේදී වල් පැලෑටි පාලනය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත්වන්න. බීජ ප්‍රරෝහණය වී සති 1,3,5,7 සහ 12 දී වල් පැලෑටි පාලනය කිරීම විශේෂයෙන් නිර්දේශ කරනු ලැබේ.

රෝග හා කෘමි හානි පාලනය
දඹල වගාවට විශාල වශයෙන් හානි පමුණුවනු ලබන කෘමින් සහ රෝග පිළිබඳ වාර්තා වී නැත. සමහර අවස්ථාවලදී පත්‍ර ආහාරයට ගන්නා දළඹුවන් හා කරල් විදින පණුවන් වැනි කෘමින් නිසා සුළු හානි ඇතිවිය හැකිය. බැක්ටීරියා මැලවීම නිසා වැල්වලට හානි වී ඇති අවස්ථා පිළිබඳව ද කලාතුරකින් වාර්තා වී තිබේ.

අස්වනු නෙලීම
නිර්දේශිත ප්‍රභේදයෙහි (එස්.එල්.එස්. 44) පළමු අස්වැන්න දින 75 දී පමණ ලබාගත හැකිය. නමුත් බහුල වශයෙන් වගාකරනු ලබන වෙනත් ප්‍රභේදවල මේ සඳහා දින 90 - 100 පමණ කාලයක් ගතවේ. එම අවස්ථාවේ සිට සති 6 - 7 පමණ කාලයක් තුළ අස්වනු ලබාගත හැකිය. දින 3 - 4 වරක් බැඟින් ලපටි කරල් නෙලාගන්න.

අස්වැන්න
හෙක්ටයාරයකට ටොන් 15 - 20කි.

No comments:

Post a Comment