Tuesday 6 August 2013

කරවිල



කරවිල

මොමෝඩිකා බාරන්ටියා

Momordica charantia
කුලය - කුකර්බිටේසි


කරවිල අප රටෙහි ජනප්‍රිය එළවළුවකි. එහි පවතින ඖෂධීය ගුණ නිසා කරවිල ආහාරයට ගැනීම පිළිබදව මෑතක සිට විශේෂ උනන්දුවක් ඇති වී තිබේ.

වගාවට සුදුසු ප්‍රදේශ
මුහුදු මට්ටමේ සිට මීටර් 1200 පමණ උස් වු ප්‍රදේශ දක්වා මෙය සාර්ථකව වගා කළ හැකිය.

නිර්දේශිත ප්‍රභේද

එම්.සී- 43
මධ්‍යම ප්‍රමාණයේ ලාකොළ පැහැති කරල් මතුපිට දත් වැනි නෙරුම් පිහිටා ඇත.

තින්නවේලි සුදු
තරමක් විශාල කරල් සුදු - කොල පැහැතිය. කරල් මතුපිට දිග අතට අඛණ්ඩව විහිදුන නෙරුම් ඇත.

මාතලේ ග්‍රීන්
කොළ පැහැති කරවිල වලට ඉහළ පාරිභෝගික රුච්කත්වයක් ඇති බැවින් කොළ පැහැති කරල් සහිත කරවිල ප්‍රභේදයක්. (මාතලේ ග්‍රීන්) නමින් වගා කිරීම සදහා නිර්දේශ කරන ලදි. මාතලේ ප්‍රදේශයේ ගොවි ක්ෂේත්‍ර වලින් ලබාගත් මූලික බීජ වලින් පාරිශුද්ධකරණය කර මෙම ප්‍රභේදය ලබාගෙන ඇත. සෙ. මී. 20 - 30 පමණ මධ්‍යස්ථ දිගකින් යුත් කරලක බර ග්‍රෑම් 150 - 200 ක් වේ. කරල් කොළ සිට තදකොළ පැහැ වර්ණයෙන් යුතුවේ. කරල් මතුපිට අඛණ්ඩ නෙරීම්/දාර 8 - 9 ක් පිහිටා ඇත. අස්වැන්න හෙක්ටයාරයකට මෙ. ටො. 1.5 පමණ ලබාදේ.

වගාවට සුදුසු ප්‍රදේශ
මුහුදු මට්ටමේ සිට මීටර් 1200 පමණ උස් වු ප්‍රදේශ දක්වා මෙය සාර්ථකව වගා කළ හැකිය.

පස
කාබනික ද්‍රව්‍ය බහුල, හොදින් ජලය බැසයන පස් වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පි.එච්. අගය 5.5 - 7.5 කි.

බිම් සැකසීම
සෙන්ටි මීටර් 20 - 30 පමණ ගැඹුරට පස පෙරලා කැට පොඩිකර ගන්න. සෙන්ටි මීටර් 30 x 30 x 30 ප්‍රමාණයේ වලවල් නිසි පරතරයට සකසා දිරාපත් වු කාබනික පෙහොර හා මතුපිට පස්වලින් පුරවන්න.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 6 කි.

පරතරය
මීටර් 1.5 x මීටර් 1 කි.

සිටුවීම
මහ - ඔක්තෝබර් - නොවැම්බර්
යල - අප්‍රේල් - මැයි
එක් වලක බීජ 3 බැගින් සෙ. මී. 2 - 3 ගැඹුරින් සිටුවන්න.

මෙම බීජ අතර තරමක පරතරයක් තිබිය යුතුය. බීජ පැලවී සති 2 ගතවු පසු එක් වලක පැල 2 බැගින් ඉතිරිකර ඉතිරි පැලය ගලවා දමන්න. බීජ සිටුවීමට පෙර රැයක් ජලයේ පෙගවීමෙන් ප්‍රරෝහණය ඉක්මන් වේ.

මෙයට අමතරව කුඩා පොලිතීන් බදුන්වල බීජ සිටුවා සකසා ගන්නා පැල සිටුවීම ද කළ හැකිය. මෙමගින් අයහපත් කාලගුණික තත්ව යටතේ බීජ සිටුවීමෙන් සිදුවිය හැකි හානි වලකී.

වැල් පුහුණු කිරීම
බීජ සිටුවා සති 3 පමණ ගතවූ පසුව මීටර් 2 පමණ උස ශක්තිමත් මැස්සක් (පන්දලමක්) වෙත වැල් යොමු කරන්න. පන්දලමට පහළින් වැලෙහි හටගන්නා පාර්ශ්වික අංකුර කපා දමන්න.

වල් පැලෑටි පාලනය
පැල කුඩා කාලයේදී වලවල් අසල වල් පැල උදුරා දමන්න. වගාවේ පසු කාලයේදී මුල්වලට හානි නොවන පරිදි වල් පැල උදළුගා ඉවත් කරන්න.

පොහොර යෙදීම
වලවල් සැකසීමේදී යෙදූ කාබනික පොහොරවලට අමතරව පහත සදහන් අන්දමට රසායනික පොහොර ද වගාවට යොදන්න.
යෙදිය යුතු කාලයයූරියා
හෙ./ කි.ග්‍රෑ
ත්‍රිත්ව සුපර් පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ
මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ
මුලික පොහොර7519560
පැල මතුවී සති 2 පසු75-60
පැල මතුවී සති 5 පසු75-60

ජල සම්පාදනය
වගාවට ප්‍රමාණවත්වන පරිදි පසෙහි තෙතමනය නිසි ලෙස පවත්වා ගැනීම සදහා අවශ්‍ය අවස්ථාවලදී ජල සම්පාදනය කරන්න. පසෙහි අනවශ්‍ය පරිදි ජලය එක්රැස්වීම වගාවට අහිතකරය. වියළි කාලවලදී වැල් අවට වසුනක් යෙදීමෙන් පස ඉක්මණින් වියළී යාම වලකී.

කෘමි පාලනය

ඉල් මැස්සා

කරලේ වර්ධනයේ ඕනෑම අවස්ථාවකදී මෙම හානිය ඇතිවිය හැකිය. පළතුරු මැස්සාගේ කීටයින් කරවිල කරල තුළ සිදුකරන හානිය නිසා කරල් කුණු වී වැටී යයි.
පාලනය
වැල් අවට පොළව රේක්කයකින් ඇවිස්සීමෙන් පිළා අවස්ථාව විනාශ වේ. හානි වු කරල් වගාවෙන් ඉවත්කර විනාශකර දමන්න. තුනී පොලිතීනයකින් හෝ ඝනකම කඩදාසියකින් කුඩා අවස්ථාවේ සිට කරල් ආවරණය කරන්න.

ඇතුලත උෂෟණත්වය වැඩ් වී කරලට හානිවීම වලකා ගැනීම සදහා ආවරණය කිරීමට යෙදාගන්නා පොලිතීනයේ හෝ කඩදාසියෙහි පහළ කෙළවර විවෘතව තබන්න.

මෙම හානිය පාලනය කිරීම සදහා කෘමි නාශකයක් යොදන්නේ නම් ෆෙන්තියෝන් 50 % ඊසී හෙක්ටයාරයකට මිලි ලීටර් 1050 - 1400 ක් මල් හටගන්නා අවස්ථාවේ සිට යෙදන්න. ජලය සමග කෘම් නාශක කලවම්කර යොදා ගන්නා මිශ්‍රණයේ සෑම ලීටරයකටම සීනි ග්‍රෑම් 25 ක්ද කළවම් කරන්න. මෙම කෘමිනාශක යෙදා දින 14 ගතවන තෙක් අස්වනු නෙලීම නොකරන්න.

ගඩු මැස්සා
මෙම කෘමියාගේ කීටයා කරවිල වැල තුල සිට සිදුකරන හානිය නිසා එහි වැඩීම බාලවී කුරු වේ. කීටයා හානිකරන ස්ථානයෙහි වැල ප්‍රවේශමෙන් දෙකට පලා කීටයා ඉවත් කරන්න. හානිය දරුණු වේයැයි තීරණය කළහොත් කාබරිල් 85% කෘමි නාශකයෙන් ග්‍රෑම් 4.5 ජලය ලීටරයක බැගින් මිශ්‍රකර වගාවට යොදන්න.

රෝග පාලනය

යටිපුස් රෝගය

පත්‍ර මත කහ පැහැති කෝණාකාර පුල්ලි හටගනී. මෙම පුල්ලි පසුව දුඹුරු පැහැ වේ. අළු - සුදු පැහැති දිලීර බීජාණු පත්‍රයේ යටි පැත්තේ හටගනී. නිර්දේශත දිලීර නාශකයක් මේ සදහා යොදන්න.

විචිත්‍ර වෛරස් රෝගය

කොළ හා කහ පැහැති විච්ත්‍රයක් පත්‍ර මත ඇති වේ. රෝගී පත්‍ර විකෘති වේ. වැල්වල වර්ධනය බාල වේ. රෝගී වැල් දුටු විගස ගලවා විනාශ කරන්න.

අස්වැන්න නෙලීම
හොදින් වැඩී මෝරා ඇති අවස්ථාවේ කරල් නෙලාගන්න. වගාවට දින 60 - 75 වු විට පළමු අස්වැන්න ලැබේ. ඉන්පසු දින 4 පමණ වරක් බැගින් අස්වනු වාර 10 - 14 පමණ ලබාගත හැකිය.

අස්වැන්න
හෙක්ටයාරයකට ටොන් 20 පමණ අස්වැන්නක් ලබාගත හැකිය. කරල්වලට හානි නොවන පරිදි අසුරා වෙළදපලට යවන්න.

No comments:

Post a Comment